Tuesday, March 13, 2012

මේ අපේ හාමුදුරුවෝ ලියපු පොතකින් ගත්තු ටිකක්...

බුදුරජාණන්වහන්සේ දැක්කා මනුස්සයින් මැරිල ගිහින් නිරයේ උපදිනවා. උන්වහන්සේ දුටුවා මේ මනුෂ්‍යයා එක ජීවිතයකදී මිනිස් ලොව. ඊළඟ ජීවිතයේ නිරයේ. නිරයේ උපන්නාට පස්සෙ ඇහෙන් ලස්සන රූප හොය හොය ගිය එක්කෙනාට ඇහෙන් දකින්න ලැබෙන්නෙ අප‍්‍රිය අමනාප රූප. කනෙන් අහන්න ලැබෙන්නෙ අප‍්‍රිය අමනාප ශබ්ද. නාසයෙන් ආඝ‍්‍රාණය කරන්න ලැබෙන්නෙ අප‍්‍රිය අමනාප ගඳ. දිවෙන් රස දැනෙන්නෙ අප‍්‍රිය අමනාප දේවල්. කයට පහස හැටියට ලැබෙන්නෙ තමන් කිසිසේත්ම කැමති නැති දේවල්. නිරයේ නිරිසතුන් විඳින දුක බුදුරජාණන්වහන්සේ තමයි පැහැදිලිවම දේශනා කළේ. උන්වහන්සේ දේශනා කළා ”මහණෙනි, නිරයේ නිරිසතුන් පෙණ ගුලි බඳු ශරීර ලැබිල, ලෝකුඹු නිරයේ උඩට, පහළට, හරස් අතට තැම්බි තැම්බි වර්ෂ සිය දහස් ගණන් ඉන්නවා. රත් වූ යකඩ පොළොවේ... වහලෙත් රත්වෙලා.... වටේම යකඩ බිත්ති... රතුපාටට රත්වුන පොළොවේ දිගා කරවලා නිරිසත්වයාගේ ශරීරය උඩින් ගිනිගත් යකඩ රෝද ඇති රථ යනවා. ඒ නිරිසතා ”පිපාසයි... බඩගිනියි...” කියල කෑ ගහද්දි යකඩ අඬුවලින් කට ඇරල ලෝදිය වක්කරනවා". බුදුරජාණන්වහන්සේ මේ සියල්ල දුටුවා.

ඇතැම් මනුෂ්‍යයන් එක් ජීවිතයක මනුස්ස ලෝකයෙ, ඊළඟ ජීවිතයේ පේ‍්‍රත ලෝකයේ. ඒ පේ‍්‍රත ලෝකයෙ ඉපදිලා අනුන්ගේ සෙම්සොටු කකා ඉන්නවා. අනුන්ගේ අසූචි කකා ඉන්නවා. අනුන්ගේ මූත‍්‍රා බිබී ඉන්නවා. අනුන්ගේ දහඩිය ලෙව කකා ඉන්නවා. තමන්ම දරුවන් වදල තමන්ම කනවා. පිපාසයෙන් කුසගින්නෙන් ඉන්න පේ‍්‍රතයින් ගැන බුදුරජාණන්වහන්සේ දැක්කා.

ඊළඟට බුදුරජාණන්වහන්සේ දැක්කා මිනිස් ලොව ගතකරන මිනිස්සු මැරිල තිරිසන් ලෝකෙ ඉපදිලා ඉන්නවා. මනුෂ්‍යයෙක් වෙලා හිටපු කෙනා බල්ලන් අතර ඉපදිලා ඉන්නවා දැක්කා. මිනිස් ලොව මිනිසුන් අතර ඉපදිලා ඉන්න එක්කෙනා පූසන් අතර ඉපදිලා ඉන්නවා දැක්කා. මිනිස් ලොව මිනිසුන් වෙලා ඉපදිලා හිටපු අය නයි, පොළොන්ගු අතරෙ, පිඹුරන් අතර, පත්තෑයන් අතර, ගෝනුස්සන් අතර ඉපදී සිටින ආකාරය බුදුරජාණන්වහන්සේ දැක්කා. මිනිස් ලොව මිනිසුන් අතර ඉපදිච්ච එක්කෙනා අවබෝධයකින් තොරව කටයුතු කරපු නිසා නොයෙක් ආකාරයේ සතුන් අතරෙ ඉපදිලා අනන්ත දුක් විඳින ආකාරය, මුලාවෙන් මුලාවට පත් වෙලා යන ආකාරය බුදුරජාණන්වහන්සේ දැක්කා.

උන්වහන්සේට මහා කරුණාවක් ඇතිවුනා. උන්වහන්සේ අවබෝධ කරගත්තා ‘ඇයි මේ සත්වයා සතර අපාය ඉක්මවා යන්න බැරිව මේ ඉපදි ඉපදී, මැරි මැරී මේ සසරේ යන්නේ’ කියලා. වර්තමානයේ චතුරාර්ය සත්‍යය ගැන කියන කොට සමහරෙකුට අමාරුයි මේ ගැන. සමහරුන්ගේ සිත රිදෙනවා. ‘මේ ලස්සනට ජීවත් වෙන්න තියෙන වයසෙ මොන චතුරාර්ය සත්‍යයද?’ කියලා. ඒ මොකද හේතුව? අර ඇහැට දැක්ක රූපෙට වසඟ වුනා. කනට ඇසුන ශබ්දයට වසඟ වුනා. නාසයට දැනුන ගඳසුවඳට වසඟ වුනා. දිවට දැනුන රසයට වසඟ වුනා. කයට දැනුන පහසට වසඟ වුනා. බුදු කෙනෙකුගේ ධර්මය අමතක වුනා. බුදුරජාණන්වහන්සේ ”මේ සත්වයා නිරයේ උපදිනවා, පේ‍්‍රත ලෝකයේ උපදිනවා, තිරිසන් ලෝකයේ උපදිනවා. අසුර ලෝකයේ උපදිනවා” කියල දේශනා කළේ භය කරන්න නෙමෙයි. ඒක තමයි සත්‍යය.

මං හදන්නේ මනුස්සයොන්ට මෙහෙම එව්වා වෙන එක කාලෙකට නතරකරලා දාන්න!!! !!! බුදුහාමුදුරුවොන්ට ඕනේ උනෙත් ඒක!!! !!! !!! අනාගතයේදී ආයිම ඔය දේවල් සිද්ධවෙන්න පටන්ගනී... ඒත්, මුළු ලෝකෙම මිනිස්සු 'ඇත්ත' දැනගත්තොත්, අනාගතයේ යම්දවසක මුළු ලෝකෙම ඇනිලා ඇනිලා ගිහිල්ල... පරම්පරා අතරේ සම්බන්ධයක් හොයාගන්න වත් නැති වෙලාම යනකම්... ආයි ඔහොම වෙන එකක් නෑ!!! 

ඊළඟට, ඔය පහලින් තියෙන්නේ සාරිපුත්ත මහ රහතන්වහන්සේ කුසල් / අකුසල් තෝරලා දීපු එකක්...

මනුස්සයට තියනවා නේ තුනක්... අන්න ඒ 'තුන' පරිස්සම් කරගන්න ඕනේ!!!  කුසල් / අකුසල් කෙසේ වෙතත්, වෙන කාටහරි නරකක් / නපුරක් වෙන ඕනේ දෙයක් 'බලු වැඩක්'!!! !!! !!! බලුවැඩ කරන එපා!!! !!! !!! උඹල මොකෙක්වත් බලුවැඩ කරනවට මාත් කැමති නෑ!!! අනික, මිනිස්සු 'බලුවැඩ' කරන්න හොඳ නෑ... එතකොට බල්ලන්ට කරන්න වැඩ නැතුව යනවා.

ප‍්‍රිය ආයුෂ්මතුනි, අකුසල් කියන්නෙ මොනවා ද? අකුසල මුල් කියන්නෙ මොනවා ද? කුසල් කියන්නෙ මොනවා ද? කුසල මුල් කියන්නෙ මොනවා ද?

ප‍්‍රිය ආයුෂ්මතුනි, සතුන් මැරීම අකුසලයක්. සොරකම් කිරීම අකුසලයක්. වැරදි විදියට කාම සේවනයේ යෙදීම අකුසලයක්. බොරු කීම අකුසලයක්. කේළාම් කීම අකුසලයක්. නපුරු වචන කීම අකුසලයක්. හිස් වචන කීම අකුසලයක්. අනුන් සතු දේවල් ගැන ලෝභය ඉපදවීම අකුසලයක්. ද්වේෂය ඇති කර ගැනීම අකුසලයක්. මිත්‍යා දෘෂ්ටික අදහස් ඇතිව සිටීම අකුසලයක්. ප‍්‍රිය ආයුෂ්මතුනි, ඕවාටයි අකුසල් කියන්නෙ.

ප‍්‍රිය ආයුෂ්මතුනි, අකුසල් මුල් කියන්නෙ මොනවාද? ලෝභය අකුසලයට මුල් වෙන දෙයක්. ද්වේෂය අකුසලයට මුල් වෙන දෙයක්. මෝහය අකුසලයට මුල් වෙන දෙයක්. ප‍්‍රිය ආයුෂ්මතුනි, ඔන්න ඕවාට තමයි අකුසල් මුල් කියල කියන්නෙ.

ප‍්‍රිය ආයුෂ්මතුනි, කුසල් කියන්නෙ මොනවා ද? සතුන් මැරීමෙන් වැළකීම කුසලයක්. සොරකම් කිරීමෙන් වැළකීම කුසලයක්. වැරදි කාම සේවනයෙන් වැළකී සිටීම කුසලයක්. බොරු කීමෙන් වැළකී සිටීම කුසලයක්. කේළාම් කීමෙන් වැළකී සිටීම කුසලයක්. නපුරු වචන කීමෙන් වැළකී සිටීම කුසලයක්. හිස් වචන කීමෙන් වැළකී සිටීම කුසලයක්. අනුන් සතු දේවල් වලට ලෝභ නො කර සිටීම කුසලයක්. ද්වේෂ සිත් නැතුව සිටීම කුසලයක්. සම්මා දිට්ඨියෙන් යුක්ත වීම කුසලයක්. ප‍්‍රිය ආයුෂ්මතුනි, ඔන්න ඕවට තමයි ‘කුසල්’ කියන්නෙ.

ප‍්‍රිය ආයුෂ්මතුනි, කුසල් මුල් කියන්නෙ මොනවා ද? ලෝභ නැති කම කුසලයට මුල් වෙන දෙයක්. ද්වේෂ සිත් නැති බව කුසලයට මුල් වෙන දෙයක්. මෝහය නැති බව කුසලයට මුල් වන දෙයක්. ප‍්‍රිය ආයුෂ්මතුනි, ඔන්න ඕවාට තමයි ‘කුසල් මුල්’ කියල කියන්නෙ.


ඉතින්...
* සතුන් මැරීම / සොරකම් කිරීම / වැරදි කාම සේවනය
* බොරු කීම / කේළාම් කීම / පරුෂ වචන කීම / හිස් වචන කීම
* අභිජ්ඣා දෝමනස්ස (අන්සතු දේවල් වලට ආසා කිරීම) / ව්‍යාපාද (ද්වේෂය ඇති කර ගැනීම) / මිච්ඡාදිට්ඨි (මිත්‍යා දෘෂ්ටික අදහස් ඇතිව සිටීම)
කියන එව්වා එපා!!! !!! !!!
 

No comments:

Post a Comment

Note: Only a member of this blog may post a comment.