Monday, November 7, 2011

මේ ඇඟවල් වල තියෙන්නේ මොනවද කියල ධාතු හැටියට හොයල බලපු බුදුරජාණන්වහන්සේ ඊළඟට මේ ඇඟවල් සංඥා ආයතන හැටියටත් වෙන්කර කර බැලුවා!! මොනවද මේ සංඥා ආයතන?? සංඥා ආයතන කිව්වෙත් ඔය ඇඟවල් වලම තියන, ඔය කියපු ධාතුන්ගෙන්ම හැදිච්ච, මේ බාහිර ලෝකේ තියන නොයෙකුත් නොයෙකුත් දේවල් දැනගෙන සත්වයාට විඳින්න අවස්ථාව හදල දෙන අවයවයන් / ඉන්ද්‍රියයන් කිව්වනම් හරි!! 'ඇස' කියල එකක් තියනවා... ඒකෙන් තමයි සත්වයා දකින තරමක් දේවල් දකින්නේ. 'කණ' කියල එකක් තියනවා, ඒකෙන් තමයි ඇහෙන තරමක් දේවල් ඇහෙන්නේ. 'නාසය' කියන එකෙන් තමයි ඕනෙම ගඳ සුවඳක් දැනෙන්නේ. 'දිව' කියන එකෙන් තමයි හැම රසයක්ම දැනගන්නේ. 'කය' කියන එකට තමයි හැම පහසක්ම දැනෙන්නේ ඊළඟට 'මනස' කියන එකට තමයි හැම අරමුණක්ම දැනෙන්නේ. ඔච්චරයි තියෙන්නේ!! මේ සත්වයා කියන්නේ තනිකරම හතරමහා ධාතුන්ගෙන් හැදිච්ච ආයතන 6ක එකතුවක්... වෙන මොකුත්ම නෑ!! කොච්චර හෙව්වත් ආත්මයක් කියල එකක් නෑ!!!

ඉතින්, ආයතන හැටියටත් මේ ඇඟේ තියෙන දේවල් සේරම වෙන්කර කර බලපු බුදුරජාණන්වහන්සේ ඊළඟට හෙව්වා, මොකද්ද මෙතන සිද්ධවෙන්නේ?? කියල. හැබැයි උන්වහන්සේ මේ ටික නම් කලේ උන්වහන්සේ සතු විශිෂ්ඨ ඥාණ වල උපකාරයෙන්මයි!!! ඒ කියන්නේ මෙහෙමයි... දැන් සාමාන්‍ය මනුස්සයෙකුට වතුර හැදිලා තියෙන සියුම්ම කොටස මොකද්ද කියල හොයාගෙන හොයාගෙන ගියොත් දැනගන්න පුළුවන් සියුම්ම අවස්ථාව 'ජල අණුව' කියන එක නේ?? එතනින් එහාට හොයන්න පියවි ඇහැට පේන, අල්ලලා බලල දැනගන්න පුළුවන්, මොකුත් නෑ නේ?? නමුත් අවශ්‍ය උපකරණ තියන විද්‍යාඥයෙකුට පුළුවන් ඊට එහාට හොයාගෙන හොයාගෙන යන්න!! එක්කෝ හයිඩ්‍රජන් / ඔක්සිජන් එකතුවක් (2H+O) කියල හොයාගෙන නවතින්න පුළුවන්... එහෙමත් නැත්නම් පරමාණු මට්ටමටම හොයාගෙන හොයාගෙන යන්න පුළුවන්!! බුදුරජාණන්වහන්සේට මේවගේ දේවල් වලට අමුතුවෙන් උපකරණ මොකවත් උවමනාවක් නෑ!!! උන්වහන්සේ සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් පෙරුම්පිරුවේ ඒවා හදාගෙන එන්න තමයි... පස්සේ උන්වහන්සේට තිබුණේ ඕනේ ඕනේ දේවල් හොයල දැනගන්න විතරයි!!

ඉතින් බුදුරජාණන්වහන්සේ හොයාගෙන හොයාගෙන ගියා මේ සාමාන්‍ය මනුස්සයෝ 'මම'ය, 'මගේ ආත්මය'ය, කියල හිරවෙලා දඟලන කෙහෙල්මල මොකද්ද කියල!! බැලුවම ඒක තනිකරම මායාවක් විතරයි!!! මේ 'මම' කියල අපි කාට කාටත් දැනෙන්නේ, මනස / සිත / විඥාණය කියන තුන එකතුවෙලා පෙන්නන විජ්ජාවක්... ලොකුවයින් තොරණක්... එච්චරයි!!! ඒ ඇරෙන්න මේකේ මොකුත්ම නෑ!!!

දැන් ඔය TV එකේ ප්‍රවෘත්ති කියන, එක එක සාකච්ඡාවල් පවත්වන උදවිය වාහන වලින් ඔයාලගේ ගෙවල් වලට ඇවිල්ල... ගෙට ඇවිල්ල... TV එක ඇතුලට ගිහිල්ල වාඩිවෙලා කාරිය... ඒ වැඩසටහන් කරනවා නෙවෙයි නේ?? ඒත් ඔය හොඳ ලස්සනට 'ගෙඩි පිටින්' ඉන්නවා පේන්නේ?? ඇත්තටම වගේ කතාකර කර ඉන්නේ??? ඒ සේරම තනිකරම හදල පෙන්වන දෙයක්, illusion එකක්, විතරනේ... මෙතනත් වෙන්නේ ඒකමයි!!! හිතාගන්න බැහැ තමයි... TV එකක් උනත් මුලින්ම දැකපු කෙනෙක්ව 'ගොනාට අන්දවන්න' පුළුවන් ලේසියෙන්ම!! ඒත් TV මස්කරන්න දන්න, කෑල්ලෙන් කෑල්ලට ඒවා වැඩකරන විදිය දන්න එකෙක්ව 'අන්දවන්න' බෑ නේ කීයටවත්?? මේ සත්වයෝ සේරමලා හා හාපුරා කියල TV එකක් දැකපු එවුන් ගානයි!!! නොදන්න නිසයි ගොනාට ඇඳගෙන ඉන්නේ!!! නොදන්න නිසයි මැව්වා කියල හිතාගෙන ඉන්නේ!!! නොදන්න නිසයි පිං කොරල තව එව්වට යන්න හදන්නේ!!! නොදන්න නිසයි 'අනේ වඩිනු මැනවි... මාගේ එක ගලවා ගනු මැනවි...' කිය කියා ගොං වැඩ කර කර ඉන්නේ!!!

බුදුරජාණන්වහන්සේ ඒ මායාවට රැවටුනේ නෑ!!! උන්වහන්සේ ඒක එහෙම්පිටින්ම අවබෝධ කලා!!! උන්වහන්සේ දැක්ක  ජීවිතය කියන්නේ හිත හැසිරෙන තැන් 18ක එකතුවක් විතරයි නේද?? කියල. ඇහින් දකින රූප ඔස්සේ හිත දුක් / සැප හෝ දුක්කක්වත් සැපක්වත් නැති මධ්‍යස්ථ වශයෙන් හැසිරෙනවා... කණින් අහන සද්ද ඔස්සේ හිත දුක් / සැප හෝ මධ්‍යස්ථ වශයෙන් හැසිරෙනවා... නාසයට දැනෙන ගඳ සුවඳ ඔස්සේ හිත දුක් / සැප හෝ මධ්‍යස්ථ වශයෙන් හැසිරෙනවා... දිවට දැනෙන රස ඔස්සේ හිත දුක් / සැප හෝ මධ්‍යස්ථ වශයෙන් හැසිරෙනවා... කයට දැනෙන පහස ඔස්සේ හිත දුක් / සැප හෝ මධ්‍යස්ථ වශයෙන් හැසිරෙනවා... අවසාන වශයෙන් මනසට දැනෙන අරමුණු ඔස්සේ හිත දුක් / සැප හෝ මධ්‍යස්ථ වශයෙන් හැසිරෙනවා... එච්චරයි!!! ඕක තමයි මේ මහලොකු ජීවිතය!!! ආත්මයක් කියල බම්බුවක් මේකේ නෑ!!!

No comments:

Post a Comment

Note: Only a member of this blog may post a comment.