Wednesday, November 16, 2011

හරි! ආයිම අපේ 'ලෝකය' අවබෝධ කරගැනීමේ වැඩේට බහිමු... ඉස්සෙල්ලම පොඩ්ඩක් දුරට ඔය ගුහාවට වැටුණු දේවල් ගැන කතා කරමු!!! මොකද්ද ඕක?? කොහොමද ඕක තමුන්ට බලපාන්නේ?? දැනෙන්නේ?? තේරෙන්නේ??? කියන කරුණු කිහිපයක් ගැන!!!

කෙටියෙන්ම කියනවා නම්, ඔය තමයි 'තමුන්ගේ මතකය'!!! ඔය අහන / දකින හැම කුනුහරුපයක්ම මතක හිටින්නේ... කාපු කෑම ජාති සේරම, ගඳ-සුවඳ සේරම මේ දැන් වගේ මතක හිටින්නේ... ආයේ බැණපුව / බැණුම් අහපුව / ගුටි කාපුවා / කැපිච්ච, තුවාල වෙච්ච, පිච්චිච්ච ඒවා / ආතල් ගත්තුවා සේරම මේ දැන් වගේ මතක හිටින්නේ... අන්න ඒ සේරම ඇවිල්ල ඔන්න ඔය 'විඥාණ පච්චයා නාමරූපං... නාමරූප පච්චයා විඥාණං...' කතාන්දරයේ ප්‍රතිඵල තමයි!!! මතකය ගබඩා කරලා තියාගන්න කියල blue-ray disk, hard disk, magnetic tapes වගේ ඒවා නැහැ නේ සත්වයින්ට?? මේ තමයි ඒ වැඩේට සත්වයාට ස්වභාවධර්මයෙන්ම ලැබිල තියන මතක ගබඩාව!!! හැබැයි මේක ධාරිතාවය (capacity) අසීමිතයි!!! unlimited!!! විද්‍යාව කොච්චර දියුණු උනත්, මේ වෙනකම්, සුළු වශයෙන් හරි, ගඳ-සුවඳ / රස / පහස වගේ ඒවා record කරන්න, එහෙම record කරලා ඕනේ වෙලාවක නැවත ඇතිකරන්න මොකවත් ක්‍රමයක් හදන්න පුළුවන් වෙලා නෑ නේ?? හැබැයි සත්වයාට ඒ හැකියාව ලැබිල තියෙන්නේ සංසාරෙට වැටිච්ච දවසේ ඉඳලමයි!!!

දැන් ඔය දෙවියෝ තමුන්ව මැව්වයි කියල 'හිතාගෙන ඉන්න', නැත්නම් මේ පලවෙනි පාරටමයි ඉපදුනේ කියල 'හිතාගෙන ඉන්න' අය ඉන්නවා නේද?? නිකමට හරි පොඩ්ඩක් මෝහනය කරලා (hypnotize කරලා) අතීත ජීවිත ගැන හාරවුස්සල බැලුව නම්, තේරේවි මොකද්ද වෙලා තියෙන්නේ? කියල!!! සමහරුන්ට මෝහනය කරන්න වගේ මොකවත් ඕනෙත් නෑ... ඉබේටම තමන් ගතකරපු අතීත ජීවිත සිහිවෙනවා!!! මේ අපි ජීවත් වෙන සමාජයේම ළමයි කීදෙනෙක් නම් මේ වෙනකොට තමන්ගේ අතීත ජීවිත ගැන විස්තර කියල, පස්සේ ඒ ගෙවල් වලට හොයාගෙන ගිහිල්ල විස්තර හොයල බැලුවම, සේරම ඇත්තයි! කියල දැනගන්න ලැබුණු අවස්ථා කොච්චර තියනවද?? බුද්ධ දේශණා වලත් ඔය වගේ කතන්දර ගොඩාක් තියනවා... ඒ නැතත්, ඕනෙම මනුස්සයෙකුට භාවනාවෙන් තමන්ගේ හිත දියුණු කරගන, හතරවෙනි ධ්‍යාන මට්ටමෙන් එහාට තියන 'පුබ්බේ නිවාසානුස්සති ඥාණය' නැත්නම් 'පෙර විසු කඳ පිළිවෙල දකින ඥාණය' උපද්දව ගත්තොත්, කල්ප ගණන් ඈතට ඈතට තමුන් කලින් ගත කරලා තියන ජීවිත ගැන බලාගෙන බලාගෙන යන්න මේ දැන් උනත් හැකියාව තියනවා!!!

වැඩේ තියෙන්නේ එහෙම බලන එකේ නෙවෙයි... බුදුහාමුදුරුවෝ කිව්වා, "දවසකට අවුරුදු කල්ප සියයක් ආපස්සට මෙනෙහි කර කර බලන්න පුළුවන් භාවනානුයෝගී කෙනෙක්, අවුරුදු සියයක් තිස්සේ එහෙම ආපස්සට ආපස්සට බල බලා හිටියත්, දවසක එයා මැරිලා යාවි! ඒත් ඒ වෙනකොටත් එයා සිහිකරලා තියෙන්නේ මුළු මතකයෙන් චුට්ටයි" කියලා!!! ඒ කියන්නේ 'කල්ප' 100 x 365 x 100 තරමේ ප්‍රමාණයක් නේ? අන්න එච්චර කාලයක් කියන්නෙත් මේ ගෙවාගෙන ඇවිල්ල තියන මුළු කාලයෙන් බොහොම චුට්ටක්ලු!!! ඕකම බුදුහාමුදුරුවෝ තව විදියකට කිව්වා, "මේ සත්වයා සංසාරයට වැටුණු දවස බුදු ණෙතට වත් පේන්නේ නෑ!!!" "අනමතග්ගෝ යං භික්ඛවේ සංසාරෝ පුබ්බාකෝටි න පඥ්ඥායති" කියල. ඉතින්, කොහොමද වැඩේ?? මේක මේ අද ඊයේ කතාවක්, පලවෙනි පාරට සිද්ධවෙච්ච කතාවක්, නෙවෙයි... මේ අපි හැම කෙනෙක්ම මහා පණයන වාර ගණනක් මැරිලා තියනවා!!! හරක් හැටියට ඉපදිලා මැරුම්කාපු වෙලාවල ගලපු ලේ එකතු කළා නම්, මහ මුදේ වතුරට වඩා වැඩියි ලු!!! එළුවෝ හැටියට ඉපදිලා මැරුම්කාපු වෙලාවල ගලපු ලේ එකතු කළා නම්, ඒත්, මහ මුදේ වතුරට වඩා වැඩියි ලු!!! ඌරෝ, කුකුල්ලු, මාළු හැටියටත් ඒ සේතේම ලු!!! මනුස්සයෝ හැටියටම ඉපදිලා, අම්ම මැරිච්ච වෙලාවල අඬපු කඳුළු මහ මුදේ වතුරට වඩා වැඩියි ලු!!! තාත්ත මැරිච්ච වෙලාවල අඬපු කඳුළු මහ මුදේ වතුරට වඩා වැඩියි ලු!!! මතක් කරගන්න බැරි කම විතරයි අවුලකට තියෙන්නේ... ඉතින්, තව මොනවද කතාකරන්න තියෙන්නේ?? කතාකරන්න නම් මොකුත් නෑ... ඕක ඉවරයක් කරලා දාන්න විතරයි තියෙන්නේ!!! ඒකට තමයි මේ ලැස්ති වෙන්නෙ...

කට්ටිය දන්නවද?? තමුන්ව හැදුනේ ඔන්න ඔය 'විඥාණ පච්චයා නාමරූපං... නාමරූප පච්චයා විඥාණං...' කතන්දරෙන් තමයි!!! සත්වයින් හදන්නේ... උන්ව රජවරු / සිටුවරු කරන්නේ... දෙවිවරු / බ්‍රහ්ම වරු කරන්නේ... හතර අපායට ඇදල දාන්නේ... සේරම ඕකෙන්ම තමයි!!! බුදුරජාණන්වහන්සේ ඕක හැඳින්වුයේ 'පංච උපාදාන ස්කන්ධය' කියලයි!!! ඕක මහා කුණු ගොඩක්!!! ඔය කුණුගොඩ ලොකු වැඩි නිසාම, බුදුහාමුදුරුවෝ ඕක ගොඩවල් පහකට වෙන්කරලා පෙන්නුවා... ඔය දැන් කුණු එකතු කරද්දී කඩදහි / වීදුරු / ප්ලාස්ටික් / ආහාර අපද්‍රව්‍ය අනම් මනම් කිය කියා වෙන්කරන්නේ?? අන්න ඒ විදියටම කුණු ගොඩවල් ජාති පහක් කියල හිතුවා නම් හොඳටෝම ඇති!!! කුණුගොඩක් ගැන ඊටවඩා හොයල වැඩක් නෑ!!!

හැබැයි ඔය කුණු ගොඩ කවුරුවත් අල්ලාගෙන, ග්‍රහණය කරගෙන ඉන්න දෙයක් නෙවෙයි!!! බුදුහාමුදුරුවෝ 'උපාදානය වෙනවා' කියල තියෙන්නේ මේ අපි record වෙනවා කියල කියන එකට!!! ඒක කවුරුවත් කරන දෙයක් නෙවෙයි... මේ ස්වාභාවිකවම හැදෙන සත්ව ශරීර වල, ස්වභාවයෙන්ම හැදෙන ගතියක් විතරයි!!! ඔය කුණු ගොඩ 'ඔබල' තියන්න පුළුවන් වෙන විදියට, සතරමහා ධාතුන්ගෙන් හැදෙන 'දෙය' තමයි සත්වයා කියන්නේ!!! බුදුහාමුදුරුවෝ සත්වයින් කිව්වේ, මේ නැවත නැවත උපදින ස්වභාවය ඉක්මවාගන්න බැරුව ඉන්න එවුන්ට මිසක්, බාහිර ශරීර ස්වරූප අනුව වර්ග කරලා නෙවෙයි!!! මොකද ඒ බාහිර ස්වරූපය භවයකින් භවයකට මාරුවෙද්දී තීරණය වෙන තාවකාලික එකක් විතරයි!!! දිගින් දිගට යාම වෙන කතන්දරයක්!!! තව ටික දවසක් ඉන්න කෝ... මෙච්චර කල්ප ගානක් චාටර් වෙච්ච එකේ, තව දවස් කිහිපයක් ඉන්න බැරි මොකෝ? නැද්ද??

No comments:

Post a Comment

Note: Only a member of this blog may post a comment.