Thursday, November 10, 2011

ලෝකය අවබෝධ කරගන්න අපිට තව කරුණු දෙකයි අඩු!! ඒ දෙකෙන් විඥාණය කියන එක අපි වෙනමම ගමු... මොකද ඒක තව දුරටත් සුළු කරන්න පුළුවන් කමක් නෑ!! ඒක මේ ලෝකයේ පවතින ස්වභාවික දෙයක්!!! හැබැයි ඉතින් ඔය විඥාණය තමයි දැන් කට්ටිය හප හප ඉන්න රසවත්ම කෑම... ඒ උනාට ජීවිතය අවබෝධ කරන්න නම් ඒක සම්පූර්ණයෙන්ම අවබෝධ කලයුතුමයි!!! මම නම් වඩාත්ම කැමති කස්ටියට විඥාණය අවබෝධකරවන්න දඟලන්නේ නැතුව, ඔය විඥාණය 'හමඅරින්නයි'!!! නැත්නම් 'පතුරු ගහන්නයි'!!! මොකද මට ඕනේ කරන්නේ සංසාරය නසා වනසා දාන්න!!! මට බුදුහාමුදුරුවෝ වෙනමම/විශේෂයෙන්ම කිව්වා, 'මොකෙකුටවත් සංසාරේ යන්න දෙන්න එපා!!!' කියල... ඒකයි.

ඉතින් එතකොට අපිට හොයන්න ඉතුරු 'සංඥා' කියන එක විතරයි!! ඔය සංඥා කියන එක නම්, මේ සත්ව ජීවිත ඇතුලේ සිද්ධවෙන කතන්දරේදී තනිවම පවතින දෙයක් නෙවෙයි!!! බුදුරජාණන්වහන්සේ සංඥා කියන එක හඳුන්වල දුන්නේ 'වේදනා... සංඥා... චේතනා... ඵස්ස... මනසිකාර...' කියල සිදුවෙන සිදුවීම් මාලාවක් හැටියටයි!!! ඒක තමයි පණ ඇති සත්වයෙකුගේ සිතේ ක්‍රියාකාරිත්වය!! සත්වයාගේ 'මනෝමය' කොටස, නැත්නම් 'නාම කොටස' කියලත් කියනවා!!! මේ සිදුවීම් මාලාව සිද්ධවෙන නිසා තමයි සත්වයා සක්‍රිය / සජීවී තත්වයෙන් ඉන්නේ.

බුදුහාමුදුරුවෝ මේ සත්ව ජීවිත කියන්නේ ආයතන 6ක එකතුවක්ය කියල පෙන්වල දුන්න නේ... ඒ වගේම, උන්වහන්සේ ඒ ඒ ආයතන වල සිද්ධවෙන දේත් හොඳටම පැහැදිලි කරලා දීල තියනවා!!

* 'චක්කුන්ච පටිච්ච රූපේච උප්පජ්ජති චක්ඛු විඥාණං, තින්නන් සංගති ඵස්සෝ' කියල කිව්වා!! ඒ කිව්වේ, ඇසට රූපයක් වැටුනාම ඇසේ විඥාණය හටගන්නවා... 'ඇසෙන් එය දැනගන්නවා!!' ඇසත් / රූපයත් / ඇසේ විඥාණයත් කියන කරුණු තුනේ එකතුව ඇසේ ස්පර්ශයයි!! කියල.
* 'සෝතන්ච පටිච්ච සද්දෙච උප්පජ්ජති සෝත විඥාණං, තින්නන් සංගති ඵස්සෝ' කියල කිව්වා!! ඒ කිව්වේ, කණට ශබ්දයක් වැටුනාම කණේ විඥාණය හටගන්නවා... 'කණෙන් එය දැනගන්නවා!!' කණත් / ශබ්දයත් / කණේ විඥාණයත් කියන කරුණු තුනේ එකතුව කණේ ස්පර්ශයයි!! කියල.
* මේ විදියට 'ජිව්හාච + රසේච + ජිව්හා විඥාණං => ඵස්සෝ', 'ඝානංච + ඝන්දේච + ඝාණ විඥාණං => ඵස්සෝ', 'කායන්ච + පොට්ඨබ්බේච + කාය විඥාණං => ඵස්සෝ', 'මනංච + ධම්මේච + මනෝ විඥාණං => ඵස්සෝ' කියල උන්වහන්සේ මේ ආයතන හයේම ක්‍රියාකාරිත්වය තෝරලා දුන්න!!!

ඉතින් එතකොට ආයතන හයෙන්ම ස්පර්ශ 6ක් හැදෙනවා නේ... ඔන්න ඔය ස්පර්ශ මනසිකාර වීම/කිරීම > විඳීම ඇතිවීම > විඳින දේ හඳුනා ගැනීම > හඳුනාගැනීමට අනුව චේතනා පහළකොට ප්‍රතිචාර/ප්‍රතික්‍රියා දැක්වීම කියන ක්‍රියාවලිය තමයි සත්වයාගේ 'වැඩ කෑල්ල'!!! පණ තියනකම් ඕනේ එකෙක් කරන්නේ ඔය ටික නේ?? ඔච්චරයි... වෙන මොකුත්ම නෑ!!! ඉතින් මෙන්න මේ මුළු ක්‍රියාවලිය ගැන තමයි බුදුරජාණන්වහන්සේ මෙතැනදී 'සංඥා' කියල අදහස් කරලා තියෙන්නේ!!! ඒ කියන්නේ, සත්වයාගේ මානසික කොටස, නැත්නම් 'නාම' ගැන!!!

ඕං දැන් අපි 'මනස සහිත, සංඥා සහිත, විඥාණය සහිත බඹයක් පමණවූ ශරීරය' නැත්නම් 'අපිලගේ ලෝක' ගැන සැහෙන කරුණු ටිකක් එකතුකරගත්තා!! බලන්න, මොකද්ද මේ කියල තියෙන්නේ කියල... මනස කියන ආයතනයයි, බඹයක් පමණ වූ ශරීරයයි කිව්වේ නිකම්ම නිකම් හතරමහා ධාතු වලින් හැදිච්ච ඒවා!!! අන්න 'රූප'. ඊළඟට සංඥා කියන එක මූලික කරගෙන ඒ හැදිච්ච ඇඟේ 'වැඩ කෑල්ල' ගැන, නැත්නම් ක්‍රියාකාරීත්වය ගැන කිව්වා!!! අන්න 'නාම'. ඉතින් 'සත්වයෙක්' නැත්නම්, 'සජීවී කයක්' කිව්වම ඔන්න තියනවා, නාමරූප!!! හරිද?? දැන් ඊළඟට මේකටම විඥාණයත් සම්බන්ධ උනාම, බොලේ... මේ කියල තියෙන්නේ අර බුදුවරු අවබෝධකරගන්නා කතන්දරේ නොවැ??? අර, නාමරූප පච්චයා විඥාණං > විඥාණ පච්චයා නාමරූපං > ආයෙත් නාමරූප... 'loop' කතන්දරේ නොවැ???

ඔව් ඉතින්!! ඕකම තමයි case එක!!! ඇත්තටම බුදුරජාණන්වහන්සේ අපිට කියල තියෙන්නේ, උන්වහන්සේ අවබෝධ කරගත්ත දේ අපිට එක එක පැත්තෙන්, එක එක විදියට තෝර තෝර කියල දීල, "ඔන්න ඕක උඹලත් හරියට අවබෝධ කරගනිල්ල!!" කියල තමයි!!! මේ මහපොළවෙන් ගත්තු හතරමහධතු වලින් හැදිච්ච ඇඟක් වැඩකරන්න ගත්තම, සත්වයෙක් උනාම, ඒ ඇඟේ උපකාරයෙන් විඥාණය කියල මොකද්ද එකක් තියනවා... ඒ විඥාණය කියන මොකද්ද එකේ උපකාරයෙන් සතරමහධාතු සජීවීව, සක්‍රියව පවතිනවා!!! ඔය දෙක වෙන්වුණේ කොයි වෙලේද, ක්‍රියාකාරීත්වය ඇණහිටියේ කොයි වෙලේද,  සත්වයා මරණයට පත්වෙනවා!!! සතරමහා ධාතු නැවත පොලවට එකතු වෙනවා!!! එච්චරයි.

No comments:

Post a Comment

Note: Only a member of this blog may post a comment.